Table of Contents
⚠️ කාලගුණ පුවත්:අද සිට ප්රදේශ රැසකට හිරු මුදුන් වෙයි
බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්රික්කවලත් අද (28) විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.
ඒ අනුව, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි.
ඌව පළාතෙත්, අම්පාර සහ මඩකලපුව දිස්ත්රික්කවලත් ස්ථාන ස්වල්පයක පස්වරු 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව සඳහන්.
දිවයිනේ සෙසු ප්රදේශවල ප්රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතිනවා.
මධ්යම කඳුකරයේ බටහිර බෑවුම් ප්රදේශවලත් උතුරු, උතුරු – මැද සහ වයඹ පළාත්වලත් ත්රිකුණාමලය, මොණරාගල, හම්බන්තොට සහ මාතලේ දිස්ත්රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40-50ක පමණ තද සුළං ඇති විය හැකි බව එම නිවේදනයේ සඳහන් වෙනවා.
ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්ය පියවර ගන්නා ලෙසයි එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
මේ අතර, දෘශ්ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, අද (28) සිට සැප්තැම්බර් 07 වැනිදා දක්වා ශ්රී ලංකාව ආසන්න අක්ෂාංශවලට සෘජුවම ඉහළින් පවතිනවා.
ඒ අනුව, අද දහවල් 12:11ට කොක්කුවිල්, නල්ලූර්, කොඩිකාමම් සහ නගර් කෝවිල් ප්රදේශවලට හිරු මුදුන්ව පවතින බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.
EDCS ඩිජිටල්කරණ ව්‍යාපෘතිය ඩිජිටල් ආර්ථික අමාත්යාංශයේ සෘජු අධීක්ෂණයෙන් යළි ඇරඹේ.
අධ්යාපන සමූපකාර සමිතිය (EDCS) ඩිජිටල්කරණය කිරීම සඳහා පසුගිය පාලන සමයන්හිදී රුපියල් මිලියන 70 කට ආසන්න මුදලක් වැය කර අතරමග අත්හැර දමා තිබූ ව්යාපෘතිය යළි සක්රීයව ආරම්භ කිරීමට පියවරගෙන ඇත.
ගරු, ඩිජිටල් ආර්ථික නියෝජ්ය අමාත්ය එරංග වීරරත්න සහ ගරු, කම්කරු නියෝජ්ය අමාත්යතුමා නියෝජ්ය අමාත්ය මහින්ද ජයසිංහ යන මහත්වරුන්ගේ ප්රධානත්වයෙන් ඩිජිටල් අමාත්යාංශයේදී පැවැති විශේෂ සාකච්ඡාවකදී මේ පිළිබඳව අවධානය යොමු විය. එහිදී තීරණය වූයේ ඩිජිටල් ආර්ථික අමාත්යාංශයේ සෘජු අධීක්ෂණය යටතේ GovTech විශේෂඥ සහායද ඇතිව මෙම ඩිජිටල්කරණ ව්යාපෘතිය කඩිනමින් ක්රියාත්මක කිරීමටයි.
මෙම ඩිජිටල්කරණ වැඩපිළිවෙළ හරහා EDCS හි 2,29,000 කට අධික සාමාජිකයින් වෙත වඩාත් කඩිනම්, විනිවිදභාවයෙන් යුත් සහ කාර්යක්ෂම සේවාවක් ලබාදීම වත්මන් පරිපාලනයේ ප්රධාන අභිලාෂයයි.
ඩුබායි-ඉන්දියා වෙළඳාම වාර්තාගත ලෙස ඉහළට
එක්සත් ආරාබි එමීර් රාජ්යය සහ ඉන්දියාව අතර ආර්ථික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින්, 2025 වසරේදී ඩුබායි සහ ඉන්දියාව අතර සිදු වූ තෙල් නොවන සමස්ත වෙළෙඳාම එක්සත් ආරාබි එමීර් රාජ්ය ඩිරාම් බිලියන 222.5 ක (අමෙරිකානු ඩොලර් බිලියන 60.6) වාර්තාගත අගයක් වාර්තා කිරීමට සමත්ව තිබෙනවා.
විදෙස් මාධ්ය වාර්තා කළේ, මෙය පෙර වසරට වඩා 15% ක වාර්ෂික වර්ධනයක් බවයි.
මේ අතර, 2026 ජූනි මස අග වන විට ඩුබායි වාණිජ මණ්ඩලයේ සක්රීය සාමාජිකයින් ලෙස ලියාපදිංචි වී ඇති ඉන්දියානු සමාගම් සංඛ්යාව 85,841 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
එමෙන්ම, 2016 සිට 2025 දක්වා කාලසීමාව තුළදී පමණක් ඩුබායි රාජ්යය වෙත අමෙරිකානු ඩොලර් බිලියන 8.8 ක (ඩිරාම් බිලියන 32.3) ඉන්දියානු ආයෝජන ආකර්ෂණය කර ගැනීමට හැකි වී තිබීම විශේෂත්වයක්.
නවදිල්ලි නුවරදී පැවැත්වුණු 2026 ‘දි ඉකොනොමික් ටයිම්ස් ලෝක නායකයින්ගේ සමුළුව’ (The Economic Times World Leaders Forum 2026) අතරතුර පැවැති සාකච්ඡා මණ්ඩපයකදී ඩුබායි වාණිජ මණ්ඩලයේ සභාපති සහ ප්රධාන විධායක නිලධාරී මොහොමඩ් අලි රාෂිඩ් ලූටා විසින් දෙරට අතර පවතින මෙම දැවැන්ත ආර්ථික සබඳතාවයේ ප්රගතිය තහවුරු කරන ලද අතර, ඉන්දීය අග්රාමාත්ය නරේන්ද්ර මෝදිගේද සහභාගීත්වයෙන් පැවැත්වුණු මෙම උත්සවය සඳහා ඉන්දියාවේ සහ ලොව පුරා ප්රමුඛ පෙළේ ආයෝජකයින් මෙන්ම ජ්යෙෂ්ඨ විධායක නිලධාරීන් රැසක් එක්ව සිටියා.
එහිදී අදහස් දැක්වූ ලූටා වැඩිදුරටත් සඳහන් කළේ, 2025 වසරේදී ඩුබායි සහ ඉන්දියාව අතර සිදු වූ තෙල් නොවන වෙළෙඳාම ඩිරාම් බිලියන 222.5 ක (ඇමෙරිකානු ඩොලර් බිලියන 60.6) සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් වසරින් වසර 15% ක වර්ධනයක් පෙන්නුම් කළ බවයි.
ඇමරිකාව සමඟ වෙළෙඳ සාකච්ඡා බිඳවැටීමත් සමඟ ඇමරිකානු භාණ්ඩ 700කට වැඩි ප්‍රමාණයක් සඳහා නව ප්‍රතිබදු පැනවීමට කැනඩාව තීරණය කර තිබේ.
මෙම නව බදු යටතට ඇමරිකානු ඩොලර් බිලියන 19.9ක් පමණ වටිනා ආනයන ඇතුළත් වන අතර, එය සැප්තැම්බර් 8 සිට ක්රියාත්මක කිරීමට නියමිතය.
මෙම පියවරත් සමඟ දෙරට අතර වෙළෙඳ යුද්ධය තවදුරටත් උණුසුම් වීමේ අවදානමක් පවතින අතර, ඇමරිකානු අපනයනකරුවන්ට අමතර පිරිවැයක් දැරීමට සිදුවිය හැකි බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
නව බදු ප්‍රතිසංස්කරණ හමුවේ කොළඹ වරාය නගරයේ ඇමෙරිකානු ඩොලර් බිලියන 2.1ක ආයෝජන මේ වන විටත් තහවුරු වී ඇති බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පවසයි.
ඉදිරි වසර 5 තුළ තවත් ඩොලර් බිලියන 4.1ක ආයෝජන ආකර්ෂණය කර ගැනීමට රජය ඉලක්ක කර ඇති අතර, නිවාස ව්යාපෘති, හෝටල් සහ සම්මන්ත්රණ මධ්යස්ථාන ඇතුළු ව්යාපෘති කිහිපයක් දැනටමත් ක්රියාත්මක වේ.
හෝමූස් සමුද්ර සන්ධියේ ඇතිරූ මුහුදු බෝම්බ සියල්ල ඉවත් කළා
හෝමූස් සමුද්ර සන්ධියේ අතුරා තිබූ සියලු මුහුදු බෝම්බ ඇමරිකානු නාවුක හමුදා විසින් ඉවත් කර හෝ පුපුරවා හැර ඇති බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් පවසා තිබේ. ඉරාන යුද්ධය ඇරඹීමෙන් පසු ඉන්ධන නෞකාවන් ඇතුළු වාණිජමය වශයෙන් වැදගත් නෞකාවන් රැසක් යාත්රා කරන හෝමූස් සමුද්ර සන්ධිය තුළ ඉරානය විසින් මුහුදු බෝම්බ අතුරා තිබූ බව අනාවරණය වී තිබිණි.
කිසියම් ඉරාන නෞකාවක් හෝ බෝට්ටුවක් අලුතින් මුහුදු බෝම්බ අතුරන බව දැනගතහොත් ඒවා වහාම හා ක්රමානුකූලව විනාශ කර දමන බවට ඉරානය දැනුවත් කළ බවද ඇමරිකානු ජනාධිපති ට්රම්ප් සඳහන් කර තිබේ.
ඉදිරි කාලයේ දේශීය ආර්ථිකයට අහිතකර බලපෑම්
ඉදිරි කාලයේදී දේශීය ආර්ථික කාර්යසාධනය කෙරෙහි අඛණ්ඩව (අහිතකර) බලපෑම් ඇති විය හැකි බව ශ්රී ලංකා මහ බැංකුව පවසයි. මේ අනුව භූ දේශපාලන අර්බුදකාරී තත්ත්වයන් නැවත ඇතිවීම සහ ඒ ආශ්රිතව ලෝක ආර්ථිකයට ඇතිවිය හැකි වෙළෙඳ භාණ්ඩ මිල කම්පන, වෙළෙඳ කටයුතුවලට බාධා එල්ලවීම හා ලෝක ඉල්ලුම මන්දගාමී වීම වැනි බලපෑම් මෙන්ම දේශීය වශයෙන් ඇතිවිය හැකි අහිතකර කාලගුණික තත්වයන් තුළින් ද ඉදිරි කාලයේදී මෙම බලපෑම් අඛණ්ඩව ඇතිවිය හැකි බව ද මහ බැංකුව කියයි.
මහජනයාගෙන් ලබා ගන්නා මුදල් භාවිත කරන ආකාරය ගැන කොටස් වෙළෙඳපොළේ නීති දැඩි වෙයි
ලැයිස්තුගත සමාගම් මූලික මහජන කොටස් නිකුතුවලින් (IPO) හෝ වෙනත් ආකාරයක සුරැකුම් නිකුත් කිරීමකින් රැස්කරන අරමුදල් භාවිත කරන ආකාරය පිළිබඳව වඩාත් විස්තරාත්මක සහ විනිවිදභාවයකින් යුත් තොරතුරු හෙළිදරව් කිරීම සඳහා කොළඹ කොටස් වෙළඳපොළ (CSE) විසින් නව සංශෝධිත රාමුවක් හඳුන්වා දී ඇත. සමාගම් විසින් මහජනතාවගෙන් ලබාගන්නා ප්‍රාග්ධනය නිසි පරිදි උපයෝගී කරගන්නේද යන්න තහවුරු කිරීම සහ ආයෝජක විශ්වාසය සුරැකීම මෙහි ප්‍රධාන අරමුණයි.
මෙම නව නීතිරීතිවලට අනුව, සමාගම් තම වාර්ෂික වාර්තා සහ අතුරු මූල්‍ය ප්‍රකාශන හරහා එක් එක් අරමුණු සඳහා වෙන් කරන ලද මුදල්, සැලසුම් කළ දිනයන් සහ සැබෑ ලෙසම උපයෝගී කරගත් මුදල් ප්‍රමාණයන් පිළිබඳව සවිස්තරාත්මක ලේඛනයක් ඉදිරිපත් කළ යුතුය. රැස්කරන ලද අරමුදල් සම්පූර්ණයෙන්ම උපයෝගී කරගත් පසු, එම සියලු මුදල් මුල් සැලසුම්වලට අනුකූලව යෙදවූ බව තහවුරු කරමින් සම්මත කරගත් අධ්‍යක්ෂ මණ්ඩල යෝජනාවක (Board Resolution) සහතික කළ පිටපතක් කොටස් වෙළඳපොළ වෙත ඉදිරිපත් කිරීම අනිවාර්ය කර ඇත.
යම් ආකාරයකින් රැස්කරන ලද අරමුදල් සම්පූර්ණයෙන්ම උපයෝගී කර නොමැති නම්, එම ඉතිරි මුදල් බැංකු ගිණුමක තැන්පත් කර තිබේද, අනුබද්ධ හෝ අදාළ පාර්ශවයකට (Related Party) ලබා දී තිබේද, නැතහොත් වෙනත් ආයෝජනවල යොදවා තිබේද යන්න පැහැදිලිව සඳහන් කළ යුතුය. යම් මුදලක් අදාළ පාර්ශවයක් වෙත ලබා දී ඇත්නම්, එම පාර්ශවයේ නම, පවතින සම්බන්ධතාවය, මුදල් ලබාදීමේ සවිස්තරාත්මක අරමුණ සහ ඒ සඳහා අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය ලැබුණු දිනය ද අනිවාර්යයෙන්ම හෙළිදරව් කළ යුතුය.
තවද, මුල් සැලසුම්වලින් බැහැරවීමක් (deviation) සිදුවී ඇත්නම්, ඒ පිළිබඳ තොරතුරු කොටස් වෙළඳපොළ වෙත දන්වා තිබේද යන්න සහ ඒ සඳහා අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය ලැබුණු දිනයන් ද මින් ඉදිරියට වාර්තා කළ යුතු වේ.
CSE Cash Dividend Announcement Today
| Company | Dividend Per Share | XD Date | Date of Payment |
|---|---|---|---|
| DIAL.N0000 (DIALOG AXIATA PLC) | Rs. 0.70 | 25-Aug | 15-Sep |
| TYRE.N0000 (KELANI TYRES PLC) | Rs. 6.50 | 1-Sep | 18-Sep |
| COCR.N0000 (COMMERCIAL CREDIT AND FINANCE PLC) | Rs. 7.00 | 2-Sep | 17-Sep |
