Table of Contents
කොළඹ – කොටුව සංචාරක ගමනාන්තයක් කිරීමට සැලසුම්
කොළඹ – කොටුව ප්‍රදේශයේ ඇති ඓතිහාසික උරුමය සහ ගොඩනැගිලිවල සුන්දරත්වය ආරක්ෂා කරමින් ජාත්‍යන්තර මට්ටමේ සංචාරක ගමනාන්තයක් ලෙස සංවර්ධනය කිරීමට රජය සැලසුම් කර තිබෙනවා.
ඊට අදාළ සාකච්ඡාවක් ඊයේ (19) ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා.
ලෝක බැංකු ණය සහ ආධාර යටතේ ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය සඳහා බස්නාහිර පළාත් සභාව, නාගරික සංවර්ධන අධිකාරිය සහ කොළඹ මහනගර සභාව ඒකාබද්ධව දායකත්වය ලබාදෙනු ඇති.
මෙම සංවර්ධන සැලැස්ම හරහා කොළඹ වරාය නගරය සහ වරායට පැමිණෙන සංචාරක නෞකා සමග සමීප සම්බන්ධතාවක් ගොඩනගමින් මෙරට ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා ගැනීම රජයේ අපේක්ෂාවයි.
සමස්ත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී ප්‍රදේශයේ පවතින ඇළමාර්ග සංවර්ධනය කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන ලෙස ද ජනාධිපතිවරයා එහිදී අදාළ අංශ වෙත උපදෙස් ලබා දී තිබෙනවා.
ඉරානයට එරෙහිව පෙර නොවූ විරූ ආර්ථික ක්‍රියාමාර්ගයක් ගන්නා බව ට්‍රම්ප් කියයි
ඉරානය සමග පවතින මාස පහකට අධික කාලයක් පුරා පැවති ගැටුම අවසන් කිරීම සඳහා පැවති සාකච්ඡා ඇනහිට ඇති පසුබිමක, ඉරානයට එරෙහිව පෙර නොවූ විරූ ආර්ථික ක්‍රියාමාර්ගයක් ගන්නා බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා තිබෙනවා.
ට්‍රම්ප් සිය Truth Social ගිණුමේ පළ කළ පණිවුඩයක් මගින් සඳහන් කර ඇත්තේ, ඉරානය සමග එකඟතාවකට පැමිණීමට තිබූ අවස්ථාවක් ටෙහෙරානය විසින් අහිමි කරගෙන ඇති බවයි.
ඒ අනුව ඉරානයට එරෙහිව “කිසිදු රටකට එරෙහිව මෙතෙක් ක්‍රියාත්මක කළ වඩාත්ම දැඩි ආර්ථික මෙහෙයුම” ක්‍රියාත්මක කරන බව ඔහු ප්‍රකාශ කර තිබෙනවා.
ඉරානයට එරෙහිව පෙර නොවූ විරූ මට්ටමේ ආර්ථික යුද්ධයක් සහ හුදකලා කිරීමක් ක්‍රියාත්මක කරන බවද ට්‍රම්ප් සඳහන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
එමෙන්ම ඉරානය සමග ව්‍යාපාරික කටයුතු සිදුකරන ඕනෑම රටකට එරෙහිවද දැඩි සම්බාධක පනවන බවට ඔහු අනතුරු අඟවා තිබෙනවා.
ඉරානයට මූල්‍ය ආයතන, ව්‍යාපාර, ගුවන් තොටුපළ හෝ රාජ්‍ය ආයතන හරහා කිසියම් ආකාරයක සහායක් ලබාදෙන රටවලට “දැවැන්ත ආර්ථික ප්‍රතිවිපාක” අත්විඳීමට සිදුවනු ඇති බවයි ට්‍රම්ප් පවසා ඇත්තේ.
එක්සත් අරාබි එමීරය ඉරානය සමග සියලු වෙළෙඳ සහ මූල්‍ය ගනුදෙනු අත්හිටුවයි
ඉරාන භූමියේ සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) දෙසට බැලැස්ටික් මිසයිල ප්‍රහාර දෙකක් එල්ල වීමට ප්‍රතිචාර වශයෙන්, ඉරානය සමඟ පවතින සියලුම වෙළඳ, වාණිජ සහ මූල්‍ය ගනුදෙනු “තවදුරටත් දැනුම් දෙන තුරු” අත්හිටුවීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය පියවර ගෙන තිබෙනවා.
සමුද්‍ර ගමනාගමනය ඉලක්ක කරගනිමින් එල්ල වූ බවට විශ්වාස කෙරෙන මෙම මිසයිල ප්‍රහාර දෙකම මුහුදට පතිත වී ඇති අතර, එකක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ භෞමික ජල සීමාව තුළටත් අනෙක ඊට පිටතටත් වැටී ඇති බව එරට ආරක්ෂක අමාත්‍යාංශය තහවුරු කරනවා.
පසුගිය මැයි මාසයෙන් පසු එක්සත් අරාබි එමීර් රාජ්‍ය භූමිය ආශ්‍රිතව වාර්තා වූ පළමු මිසයිල සිද්ධිය මෙය වන අතර, හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කළ අබු දාබි ජාතික තෙල් සමාගමේ (ADNOC) නෞකා කිහිපයකට ද ඉලක්කගත ප්‍රහාර එල්ල වී ඇති බවට UAE චෝදනා කරනවා.
ඉරානයේ වාර්ෂික ආනයනයෙන් තුනෙන් එකකට ආසන්න ප්‍රමාණයක් සපයන ඩුබායි නගරය, ජාත්‍යන්තර සම්බාධක හමුවේ ඉරානයේ ප්‍රධානතම ආර්ථික ජීවන මාර්ගය ලෙස පැවති අතර, මෙම වෙළෙඳ තහනම අමෙරිකානු සම්බාධකවලටත් වඩා ප්‍රබල පහරක් වනු ඇතැයි විශ්ලේෂකයෝ පවසනවා.
කෙසේ වෙතත්, ඉරාන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක එස්මයීල් බගායි (Esmaeil Baghaei) මෙම මිසයිල චෝදනා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කර ඇති අතර, ඒවා “පදනම් විරහිත” සහ අසල්වැසි සබඳතාවලට හානි පමුණුවන ප්‍රකාශ ලෙස හඳුන්වා දී තිබෙනවා.
එමෙන්ම මෙය ඉරානය පිට වරද පැටවීම සඳහා සිදුකළ ව්‍යාජ මෙහෙයුමක් (false-flag operation) විය හැකි බවටද ඉරාන පාර්ශ්වයෙන් ඉඟි පළවෙනවා.
එක්සත් ජනපද – ඉරාන සාම සාකච්ඡා සඳහා ලබාදී තිබූ දින 60ක කාලසීමාව අවසන් වීමත් සමඟම සිදු වූ මෙම සිදුවීමත් සමඟ, ගල්ෆ් කලාපයේ ආර්ථික හා ආරක්ෂක ආතතීන් මෙන්ම ගෝලීය තෙල් වෙළෙඳපොළේ නොසන්සුන්තාවද නැවතත් දැඩි ලෙස ඉහළ ගොස් තිබෙන බව සඳහන්.
⚠️ කාලගුණ පුවත්:
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (20) විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.
වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇති විය හැකියි.
ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක පස්වරු 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව සඳහන්.
එසේම දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතිනවා.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු – මැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇති විය හැකියි.
තවද, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
ලබන සැප්තැම්බර් මාසයේ සිට දිවයින පුරා පනවන සියලුම රථවාහන දඩ ගෙවීම් ඩිජිටල් ක්‍රමවේදය ඔස්සේ පමණක් සිදු කිරීමට පියවර ගෙන ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
අදාළ ඩිජිටල් දඩ ගෙවීමේ ක්‍රමවේදය සඳහා අවශ්‍ය සියලුම තාක්ෂණික හා යටිතල පහසුකම් මේ වන විටත් සූදානම් කර ඇති බව සඳහන් වේ.
රජය විසින් ක්‍රියාත්මක කිරීමට නියමිත ජාතික ඩිජිටල්කරණ වැඩසටහනට සමගාමීව මෙරට ප්‍රථම ඩිජිටල් හැඳුනුම්පත (Digital ID) මේ වසර අවසන් වීමට පෙර ජනතාව වෙත නිකුත් කිරීමට සැලසුම් කර ඇති බව ද ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් තහවුරු කරයි.
ආනයනික රේගු භාණ්ඩ නිෂ්කාශනය කඩිනම් කෙරේ.. නව ඩිජිටල් ක්‍රමවේදය ඔක්තෝබර් පළමු වැනිදා සිට…
| Company | Dividend Per Share | Final / Interim | XD Date | Record Date | Date of Payment |
|---|---|---|---|---|---|
| ONAL.N0000 (ON’ALLY HOLDINGS PLC) | Rs. 1.40 | Final | 21-Aug | 24-Aug | 11-Sep |
| CTC.N0000 (CEYLON TOBACCO COMPANY PLC) | Rs. 41.00 | Second | 24-Aug | 25-Aug | 14-Sep |
| DIAL.N0000 (DIALOG AXIATA PLC) | Rs. 0.70 | Second | 25-Aug | 28-Aug | 15-Sep |
