Table of Contents
⚠️ කාලගුණ පුවත්: ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි
ඌව, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් අද (04) පස්වරු 2.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවය.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකිය.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.
මේ අතර, අගෝස්තු 28 සිට සැප්තැම්බර් 07 දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශවලට සූර්යයා සෘජුවම ඉහළින් පවතී.
ඒ අනුව අද (04) දහවල් 12.09ට නිට්ටඹුව, අල්ගම, මල්වාන, අරණායක, මීගහකිවුල සහ පානම්කාඩු යන ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතින බව දැනුම් දී තිබේ.
දැවිතෙල් සහ නැප්තා මිල ගණන් පහළට
දැවිතෙල් සහ නැප්තා ඉන්ධන මිල ගණන් පහත හෙලීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව පියර ගෙන තිබේ.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකරණ අධ්යක්ෂ මයුර නෙත්තිකුමාර මහතා පැවසුවේ අද (04) මැදියම් රැයේ සිට මෙය ක්‍රියාත්මක බවය.
ඒ අනුව නැප්තා ලීටරයක මිල රුපියල් 210 සිට රුපියල් 175 දක්වා රුපියල් 35කින් මිල අඩු කර තිබේ.
තවද දැවිතෙල් ලීටරයක මිල ද රුපියල් 248 සිට රුපියල් 210 දක්වා රුපියල් 38කින් පහත හෙළීමටද කනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන ඇත.
IMF කණ්ඩායමක් එළැඹෙන සතියේදී දිවයිනට
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් කණ්ඩායමක් එළැඹෙන සතියේදි දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම යටතේ හත්වන සමාලෝචනය පිළිබඳව මෙරට බලධාරීන් සමග සාකච්ඡා කිරීම සඳහා ඔවුන් දිවයිනට පැමිණීමට නියමිතව ඇත.
ඒ අනුව එම නියෝජිතයින් පිරිස එළැඹෙන සතියේ 10 දින සිට 23 වැනි දින දක්වා මෙරට රැඳී සිටීමටද නියමිතය.
එම දින කිහිපය තුළ ඔවුන් මෙරට මෑත කාලීන ආර්ථික වර්ධනයන්, ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍ර සහ දිගුකාලීන ව්‍යුහාත්මක ගැටලු සාකච්ඡා කිරීමටද නියමිතව තිබේ.
වාහන මිල යළිත් ඉහළට – ඇතැම් වාහනවල මිල රුපියල් ලක්ෂ 45කින් වැඩි වෙයි
වාහන ආනයන බදු මත පනවා ඇති 50%ක අධිභාරය දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කිරීමට රජය ගත් තීරණයත් සමඟ මෙරට වාහන මිල ගණන් යළිත් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙනවා.
වාහන අලෙවි ආයතන සහ වාහන ආනයනකරුවන් සමඟ සිදුකළ විමසීම්වලදී අනාවරණ වී ඇත්තේ ඇතැම් ජනප්‍රිය වාහන මාදිලිවල මිල රුපියල් මිලියන 4.5ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.
වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ පවසන්නේ, මැයි 15 වැනිදාට පෙර විවෘත කළ ණයවර ලිපි යටතේ ආනයනය කළ වාහන අධිභාරයෙන් නිදහස්ව තිබූ බවයි.
කෙසේ වෙතත්, මැයි 15 වැනිදායින් පසු විවෘත කළ ණයවර ලිපි යටතේ ආනයනය කරන ලද වාහන නව බදු ක්‍රමය යටතේ නිෂ්කාශනය කිරීම ආරම්භ වීමත් සමඟ මෙලෙස මිල ඉහළ ගොස් තිබෙනවා.
මේ වනවිට නිෂ්කාශනය කර ඇති වාහනවලින් සියයට 90ක් පමණ අධිභාරයට යටත් නොවන ණයවර ලිපි යටතේ ආනයනය කළ ඒවා බවද ඔහු සඳහන් කළා.
වාහන මිල ස්ථාවර කිරීම සඳහා නැවත නැවතත් අධිභාර පැනවීම වෙනුවට බදු ප්‍රතිපත්තිය සංශෝධනය කිරීම, ණයවර ලිපි නියාමනය කිරීම සහ ස්ථාවර බදු අනුපාත හඳුන්වාදීම වැනි විකල්ප ක්‍රියාමාර්ග සලකා බැලිය යුතු බවද වාහන ආනයනකරුවන්ගේ සංගමය පෙන්වා දෙනවා.
වාහන 316,000 න් රජයට රු. බිලියන 512.5ක බදු ආදායමක්
2026 ජුනි 30 වනදා වන විට ශ්‍රී ලංකාවට වාහන 316,000ක් ආනයනය කර ඇති අතර, ඒ හරහා රජයට රු. බිලියන 512.5ක බදු ආදායමක් ලැබී තිබේ. මේ බව පාර්ලිමේන්තු ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේදී රේගු නිලධාරීන් අනාවරණය කර ඇත.
එම ආදායමෙන් රු. බිලියන 386.7ක් මෝටර් රථ ආනයනයෙන් ලැබී ඇති අතර, 1,000ccට අඩු පෙට්‍රල් මෝටර් රථ කාණ්ඩය පමණක් රු. බිලියන 137.4ක රේගු ආදායමක් ලබාදී තිබේ.
මේ අතර, ජුනි 30 දක්වා රේගුවේ අපේක්ෂිත ආදායම රු. බිලියන 1,060.6ක් වුවද, සැබෑ ආදායම රු. බිලියන 1,379.1ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එය ඉලක්කයෙන් 130%ක ප්‍රගතියක් ලෙස වාර්තා වේ.
CSE Cash Dividend Announcement Today
| Company | Dividend Per Share | XD Date | Date of Payment |
|---|---|---|---|
| COLO.N0000 (C M HOLDINGS PLC) | Rs. 0.4 | 11-Sep | 30-Sep |
| GEST.N0000 (GESTETNER OF CEYLON PLC) | Rs. 3.90 | 22-Sep | 8-Oct |
| LALU.N0000 (LANKA ALUMINIUM INDUSTRIES PLC) | Rs. 1.25 | 22-Sep | 9-Oct |
