Table of Contents
හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තු
හෝමූස් සමුද්‍රසන්ධිය හරහා ගමන් කිරීමට අවසර හිමිවන විදේශීය නෞකාවන්ගෙන්, ඉරානය විසින් සපයනු ලබන සේවාවන් වෙනුවෙන් ගාස්තු අය කිරීමට ප්‍රතිපාදන සැලසෙන පනත් කෙටුම්පතක් ඉරාන පාර්ලිමේන්තුවේ ජාතික ආරක්ෂාව සහ විදේශ ප්‍රතිපත්ති පිළිබඳ කොමිසම මගින් අනුමත කර තිබෙනවා.
මේ අතර ඉරානය වෙත ලැබෙන සෑම ආර්ථික උපකාරයක්ම සම්පූර්ණයෙන්ම අත්හිටුවීම වොෂින්ටනයේ ප්‍රධාන අරමුණ බවයි ඇමරිකානු භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් ප්‍රකාශ කර ඇත්තේ.
ඉරානයට එරෙහිව මෙතෙක් පැනවෙන දැඩිම ආර්ථික සම්බාධක මාලාව ප්‍රකාශයට පත් කිරීමට නියමිත පසුබිමක ඔහු මෙම අදහස් පළ කර තිබෙනවා.
ඇමරිකා එක්සත් ජනපදය ටෙහෙරානයට එරෙහිව ආර්ථික යුද්ධයකට අවතීර්ණ වීම, ඔවුන් ලැබූ හමුදාමය පරාජය වක්‍රව පිළිගැනීමක් බවයි ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ මාධ්‍ය ප්‍රකාශක සර්දාර් මොහෙබි සඳහන් කරන්නේ.
ගාසා තීරයට ඊශ්‍රායලයෙන් මාරාන්තික ප්‍රහාර ම්ඊශ්‍රායල හමුදාව විසින් ගාසා තීරයේ ස්ථාන කිහිපයකට අඛණ්ඩව මාරාන්තික ප්‍රහාර එල්ල කර ඇති අතර, මගාසි (Maghazi) සරණාගත කඳවුර ආසන්නයේ පිහිටි ගබඩාවක් ද මෙම ප්‍රහාරයන්ගේ ප්‍රධාන ඉලක්කයක් වී ඇත.
වියළි කාලගුණයෙන් 81,000කට බොන්න වතුර නැහැ
දිවයිනේ ප්‍රදේශ රැසකට බලපා ඇති වියළි කාලගුණය හේතුවෙන් පුද්ගලයින් 81,000කට වැඩි පිරිසක් මේ වන විට පානීය ජල ගැටලුවකට මුහුණ පා සිටිනවා.
මේ හේතුවෙන් එම ප්‍රදේශවල ජනතාවට බවුසර මගින් ජලය බෙදාදීම ආරම්භ කර ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ.
වියළි කාලගුණයේ වැඩිම බලපෑම එල්ල වී ඇත්තේ මොණරාගල දිස්ත්‍රික්කයටයි.
එම දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 33,023ක් පානීය ජල අර්බුදයට මුහුණ දී සිටිනවා.
මීට අමතරව මඩකලපුව දිස්ත්‍රික්කයේ 28,523ක්, අම්පාර දිස්ත්‍රික්කයේ 8,783ක් සහ බදුල්ල දිස්ත්‍රික්කයේ 7,876ක් ඇතුළුව පුද්ගලයින් 81,865 දෙනෙකු මෙම ජල අර්බුදයට මුහුණ පා සිටින බවයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.
⚠️ කාලගුණ පුවත්
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ. වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
අම්පාර, මොණරාගල සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක පස්වරු 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම නිවේදනයේ සඳහන්.
දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියලි කාලගුණික තත්ත්වයක් පවතින බවත් එම නිවේදනයේ සඳහන්.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු-මැද සහ වයඹ පළාත්වලත් මන්නාරම, ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකියි.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
ඇමෙරිකාව විසින් කැනඩාවට පැනවීමට නියමිත 50% නව තීරුබද්ද වැරදි තක්සේරුවක් බව කැනඩා අග්‍රාමාත්‍ය මාර්ක් කාර්නි පවසයි.
ඇමෙරිකා–කැනඩා වෙළෙඳ සාකච්ඡා බිඳවැටීමෙන් අනතුරුව, සැප්තැම්බර් 8 සිට කැනේඩියානු භාණ්ඩ සඳහා 50%ක නව තීරුබද්දක් පැනවීමට ඇමෙරිකාව තීරණය කර තිබේ.
කැනඩාව පවසන්නේ මෙම පියවර දෙරට අතර වෙළෙඳ සබඳතාවලට හානි කරන අතර, කැනඩාව වෙළෙඳ යුද්ධයකට ඇද දැමීමේ අවදානමක් ඇති කරන බවයි.
ශ්‍රී ලංකාවට ලබාදී ඇති IMF වැඩසටහන යටතේ 2027 වසරේ පළමු මාස හය තුළ දේපළ බද්දක් හඳුන්වාදීම පිළිබඳව IMF අවධාරණය කර තිබේ.
විශේෂයෙන් දෙවැනි හෝ අමතර නිවසක් හිමි පුද්ගලයන් ඉලක්ක කර බද්දක් පැනවීම IMF යෝජනාව වී ඇත. දේපළ බද්දක් හඳුන්වාදීම සඳහා IMF විසින් ශ්‍රී ලංකාවට තාක්ෂණික සහායද ලබාදී තිබේ.
කෙසේ වෙතත්, 2027 ආදායම් ඉලක්ක සපුරා ගැනීමට පවතින ආදායම් ප්‍රමාණවත් බැවින් නව දේපළ බද්දක් අවශ්‍ය නොවන බව රජය පෙන්වා දී ඇත. එමෙන්ම දේපළ හිමිකාරිත්වය පිළිබඳ නිවැරදි දත්ත ගබඩාවක් සකස් කිරීමට කාලයක් අවශ්‍ය බවද රජයේ මතයයි.
IMF පවසන්නේ දේපළ බද්දක් බදු පද්ධතිය වඩාත් සාධාරණ හා කාර්යක්ෂම කරමින් රාජ්‍ය ආදායම ශක්තිමත් කිරීමට උපකාරී වන බවයි.
Cash Dividend Announcement CSE Today
| Company | Dividend Per Share | Final / Interim | XD Date | Record Date | Date of Payment |
|---|---|---|---|---|---|
| CTC.N0000 (CEYLON TOBACCO COMPANY PLC) | Rs. 41.00 | Second | 24-Aug | 25-Aug | 14-Sep |
| DIAL.N0000 (DIALOG AXIATA PLC) | Rs. 0.70 | Second | 25-Aug | 28-Aug | 15-Sep |
| TYRE.N0000 (KELANI TYRES PLC) | Rs. 6.50 | First | 1-Sep | 2-Sep | 18-Sep |
| COCR.N0000 (COMMERCIAL CREDIT AND FINANCE PLC) | Rs. 7.00 | Final | 2-Sep | 3-Sep | 17-Sep |
කොළඹ වරාය නගරය තුළ ඉදිරි වසර 05 තුළ ඇමෙරිකානු ඩොලර් බිලියන 4.1ක ආයෝජන ලබා ගැනීම රජයේ ඉලක්කයයි.
නව බදු ප්‍රතිසංස්කරණ හමුවේ වුවද කොළඹ වරාය නගරය තුළ ඇමෙරිකානු ඩොලර් බිලියන 2.1ක ආයෝජන මේ වන විටත් තහවුරු වී අවසන් බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පවසයි.
ඉදිරි වසර 05 තුළ ඇමෙරිකානු ඩොලර් බිලියන 4.1ක ආයෝජන ලබා ගැනීම රජයේ ඉලක්කයයි.
මෙම ඉලක්කය සපුරා ගැනීම සඳහා දැවැන්ත නිවාස ව්‍යාපෘති 2ක්, නවීන හෝටලයක් සහ සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයක් ඇතුළු සංවර්ධන ව්‍යාපෘති මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් පවතියි.
අත්තනෝමතික සහ හානිදායක බදු පහසුකම් වෙනුවට ආයෝජක ආකර්ෂණය අඩු නොවන ලෙස ලෝක සම්මතයන්ට අනුකූල නව බදු ක්‍රමවේදයක් හඳුන්වා දී ඇත. ඒ අනුව ප්‍රාථමික ආයෝජන සඳහා වසර 15 සිට 23 දක්වා බදු සහන ද, ද්විතීයික ආයෝජන සඳහා වසර 4ක අඩු බදු ප්‍රතිශතයක් ද හිමි වේ.
පසුගිය සතියේ පැවැති ඔස්ට්‍රේලියානු ආයෝජන සමුළුවේදී ප්‍රධාන ආයෝජන අවස්ථාවක් ලෙස වරාය නගරය හඳුන්වා දුන් අතර, මේ හරහා ලැබෙන ආයෝජන ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට (BOI) අමතරව ලැබෙන ඒවා බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.
කොළඹ නගරය සහ තදාසන්න ප්‍රදේශ ආවරණය වන පරිදි නව විදුලි දුම්රිය ව්‍යාපෘතියක කටයුතු ලබන වසරේදී ආරම්භ කිරීමට නියමිතයි.
කොළඹ නගරය සහ තදාසන්න ප්‍රදේශ ආවරණය වන පරිදි නව විදුලි දුම්රිය ව්‍යාපෘතියක කටයුතු ලබන වසරේදී ආරම්භ කිරීමට නියමිත බව පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතා පවසයි. ඒ සඳහා අවශ්‍ය මූලික සැලසුම් මේ වන විටත් සකස් කර අවසන් බව හම්බන්තොට පැවැති ජනහමුවකට එක්වෙමින් ඒ මහතා සඳහන් කළේය.
මරදානෙන් ආරම්භ කිරීමට නියමිත මෙම විදුලි දුම්රිය සේවාව ඔස්සේ මහජනතාවට වඩාත් කාර්යක්ෂම හා උසස් ප්‍රවාහන පහසුකමක් සැලසීම රජයේ ප්‍රධාන අරමුණ බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. ඒ අනුව බෙලියත්තේ සිට පැමිණෙන ‘රුහුණු කුමාරි’ දුම්රියේ මගීන්ට පානදුරෙන් බැස විදුලි දුම්රිය මඟින් පහසුවෙන් කොළඹ නගරයට ළඟාවීමට අවස්ථාව හිමිවන අතර, ප්‍රමාද වී තිබූ රටේ ප්‍රවාහන හා මහාමාර්ග පද්ධතියේ සංවර්ධන කටයුතු රැසක් ද මේ වන විට නැවත ආරම්භ කර ඇති බව ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
