ඩොලරයේ විකුණුම් මිල රු. 340 මට්ටමින් පහළට​

ඩොලරයේ විකුණුම් මිල රු. 340 මට්ටමින් පහළට​

හෝමූස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීමට ඉරානයෙන් ට්‍රම්ප්ට කොන්දේසි 6ක්

උපායමාර්ගිකව ඉතා වැදගත් වන හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන නාවික ගමනාගමනය පාලනය කිරීම සඳහා වන නව එකඟතාවයක් පිළිබඳ සාකච්ඡා සාර්ථක මෙන්ම ඉතා දියුණු මට්ටමක පවතින බව ඉරානය සහ ඕමානය යන රටවල් දෙකම ප්‍රකාශ කර ඇත.

මෙම සාකච්ඡා ප්‍රධාන වශයෙන් මෙම සමුද්‍ර සන්ධිය හරහා යා හැකි නව මුහුදු මාර්ගයක් නිර්මාණය කිරීම කෙරෙහි යොමු වී තිබේ. මෙම නව මාර්ගයේ ආරක්ෂාව සහ පාලනය පිළිබඳ වගකීම ඉරානය සහ ඕමානය විසින් හවුලේ බෙදා ගැනීමට නියමිතය.

නමුත් බලාපොරොත්තු සහගත තත්ත්වය ඉහළ යත්ම, මෙම වැදගත් මුහුදු මාර්ගය නැවත විවෘත කිරීමට පෙර ඇමෙරිකාව ඉටු කළ යුතු කොන්දේසි මාලාවක් ඉරානය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇත.

මින් බොහෝමයක්, පසුගිය ජුනි 17 වනදා ඇමෙරිකාව සහ ඉරානය අතර එකඟත්වයට එලැඹි අවබෝධතා ගිවිසුමේ සීමාවන් ඉක්මවා යන ඒවා වන අතර, අනෙක්වා ඔවුන් කලින් කළ ඉල්ලීම් වේ. කෙසේ වෙතත් මෙවර ඒවා සෘජුවම මුහුදු මාර්ගය විවෘත කිරීමේ කොන්දේසි ලෙස ඉදිරිපත් කර ඇත.

ප්‍රදේශ කිහිපයකට පස්වරු 2.00න් පසු වැසි

සබරගමුව පළාතෙත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (11) විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.


එසේම බස්නාහිර සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකියි.


ඌව සහ නැගෙනහිර පළාත් වලත් මුලතිවු දිස්ත්‍රික්කයේත් ස්ථාන ස්වල්පයක පස්වරු 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම නිවේදනයේ සඳහන් වෙන්නේ.


ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

ශ්‍රී ලංකාවේ බදු පද්ධතිය වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා ඩිජිටල් තාක්ෂණය භාවිතය, බදු පදනම පුළුල් කිරීම සහ බදු පරිපාලන හැකියාවන් ශක්තිමත් කිරීම පිළිබඳව පාර්ලිමේන්තුවේ ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේදී අවධානය යොමු වී තිබෙනවා.

2026 ජුනි 30 දක්වා බදු ආදායම් එකතු කිරීමේ ප්‍රගතිය, බදු අනුකූලතාව, RAMIS පද්ධතිය, ඩිජිටල් සේවා සඳහා බදු සහ බදු පරිපාලනයේ පවතින ගැටලු පිළිබඳව නිලධාරීන් සමඟ සාකච්ඡා කර තිබෙනවා.

 

විශේෂයෙන් විද්‍යුත් ලියාපදිංචි කිරීම, බදු වාර්තා ගොනු කිරීම සහ ගෙවීම් ක්‍රම පුළුල් කිරීම, ආයතන අතර දත්ත හුවමාරුව වැඩිදියුණු කිරීම සහ අවිධිමත් ආර්ථික ක්‍රියාකාරකම් බදු ජාලයට ඇතුළත් කිරීම ඉදිරි ප්‍රමුඛතා ලෙස අවධාරණය කර තිබෙනවා.

ඊශ්‍රායල් රැකියා ක්ෂේත්‍ර දෙකකට අදාළව අයැදුම්පත් කැඳවීම අද ආරම්භ වෙයි

ඊශ්‍රායලයේ රැකියා ක්ෂේත්‍ර දෙකක් සඳහා අයැදුම්පත් කැඳවීම අද (10) ආරම්භ වන බව විදේශ රැකියා නියුක්ති කාර්යාංශය පවසනවා.

ඒ අනුව, අවන්හල් ක්ෂේත්‍රය වෙනුවෙන් අයැදුම්කරුවන් 4,000 ක් ලියාපදිංචි කිරීම සඳහා අද දහවල් 12.00 ට www.slbfe.lk යන වෙබ් අඩවියේ අදාළ ද්වාරය විවෘත කෙරෙන බවයි සඳහන් වන්නේ.

 

එසේම, ප්‍රතිසංස්කරණ රැකියා ක්ෂේත්‍රය වෙනුවෙන් අයැදුම්කරුවන් 12,000 ක් ලියාපදිංචි කිරීම සඳහා අද පස්වරු 2.00 ට වෙබ් ද්වාරය විවෘත කිරීමට නියමිතයි.

 

සුදුසුකම්ලත් ඊශ්‍රායල් නියෝජිතයන් විසින් ඉහත රැකියා කාණ්ඩවලට අදාළව ශ්‍රමිකයන් තෝරාගැනීම සිදු කරන බැවින්, තමන්ට මනා වෘත්තීය හැකියාව ඇති රැකියා ක්ෂේත්‍රය සඳහා පමණක් අයැදුම් කරන ලෙසයි විදේශ රැකියා නියුක්ති කාර්යාංශය රැකියා අපේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටින්නේ.

2026 වසරේ විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 5,000 ඉක්මවයි

2026 වසරේ ජූලි මාසය දක්වා ගත වූ කාලය තුළ විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් ලැබී ඇති සමස්ත ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 5,000 ඉක්මවා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

 

ඒ අනුව, එම කාලය තුළ වාර්තා වී ඇති සමස්ත විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 5,382.4 ක් බවයි මහ බැංකුව විසින් නිකුත් කර ඇති වාර්තාවක දැක්වෙන්නේ.

 

පසුගිය 2025 වසරේ ජනවාරි සිට ජූලි මාසය දක්වා වූ කාලය තුළ වාර්තා වී ඇත්තේ අමෙරිකානු ඩොලර් මිලියන 4,435.2 ක් වන අතර, එම වසරේ මුල් මාස 07 ට සාපේක්ෂව මෙම වසරේ එම කාලය තුළ ලැබී ඇති විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 947.2කින් වර්ධනය වී තිබෙනවා.

 

මේ අතර, ජූලි මාසයේදී පමණක් මෙරටට ලැබී ඇති සමස්ත විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 777.6 ක් ලෙස සටහන් වී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

බැටරි ගබඩා බලශක්ති පද්ධති, ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ කිරීම සැප්තැම්බර් මස මුල දී

රට තුළ ඇති විදුලිබල සම්ප්‍රේෂණ උපපොළ 16 කට සම්බන්ධ කිරීමට සැලසුම් කරන ලද වාණිජ මට්ටමේ බැටරි බලශක්ති පද්ධතිවල ඉදිකිරීම් කටයුතු මේ වන විට අවසන් අදියරයේ පවතින බව වාර්තා වේ. මෙම බැටරි පද්ධති මැයි සහ ජූනි මාස වලදී අවස්ථා තුනකදී කොළඹ වරාය හරහා ශ්‍රී ලංකාවට ගෙන එනු ලැබීය.

WindForce PLC සමාගම විසින් අනුරාධපුර උපපොළ සමීපයේ ඉදිකරන ව්‍යාපෘතියේ වැඩකටයුතු 85% ක ප්‍රමාණයක් පමණ මේ වන විට අවසන්ව ඇත. දිවා කාලයේ දී සෝලා පද්ධති හරහා නිපදවන අමතර බලශක්තිය උපපොළ මඟින් මෙම බැටරි පද්ධතිවල ගබඩා කිරීම සිදු වේ. ඉන්පසු රාත්‍රි කාලයේ දී එම ගබඩා කළ බලශක්තිය නැවත උපපොළ හරහා අවශ්‍යතාව අනුව ජාතික විදුලිබල පද්ධතියට ලබාගැනීම සිදු කරයි.

මේ මඟින් ජාතික විදුලිබල පද්ධතිය අස්ථාවර වීම වළක්වා ගන්නා අතර, ඩීසල් විදුලි බලාගාරවලින් රාත්‍රී කාලයේ දී ලබා ගන්නා විදුලිබල ශක්තිය අවම කරගැනීමට හැකි වේ. එක් ව්‍යාපෘතියකින් 10MW ක විදුලිබල ශක්තියක් ජාතික විදුලිබල පද්ධතියට ලබා ගැනීමට හැකි වන අතර, බලශක්ති අමාත්‍යාංශයට අයත් NSO (National System Operator Ltd) සමාගම විසින්, පාලන හා කළමනාකරණ කටයුතු සිදු කරයි.

බැටරි පද්ධතිවල නඩත්තු කටයුතු අදාළ සමාගම්වලට පැවරේ. පාරිසරික හානි නොමැති, ස්ථාවර බලශක්තියක් සපයා දෙන මෙම ව්‍යාපෘති මඟින් අත්පත් කරගන්නා ප්‍රතිලාභ ඉදිරියේ දී පාරිභෝගිකයාට ලබා දීමට රජය කටයුතු කරගෙන යනු ලබයි. ඉදිරියේදී තවත් උපපොළ 23ක් සඳහා මෙම බැටරි පද්ධති සවිකිරීමට අවශ්‍ය ප්‍රසම්පාදන කටයුතු සිදු වෙමින් පවතී.

මෙම බලශක්ති ගබඩා පද්ධතිවල ගබඩා කෙරෙන විදුලිබල ශක්තිය, අවශ්‍යතාවය අනුව ජාතික විදුලිබල පද්ධතියට ලබා ගැනීම සැප්තැම්බර් මස මුලදී ආරම්භ කිරීමට හැකි බව, ඉදිකිරීම් කටයුතු සිදු කරන WindForce PLC සහ ගැලීලි බෙස් (Galilee Bess) සමාගම්වල බලධාරීන් ප්‍රකාශ කර සිටී.

ඩොලරයේ විකුණුම් මිල මෙලෙස රු. 340 මට්ටමින් පහළට

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් අද (10) දිනයේ දී පිළිවෙලින් රු. 330.88ක් හා රු. 339.94ක් ලෙසින් වාර්තා වී ඇත.


ඩොලරයේ විකුණුම් මිල මෙලෙස රු. 340 මට්ටමින් පහළට පැමිණ ඇත්තේ පසුගිය ජූලි 08 වනදායින් පසු පළමු වරට අද දිනයේ දීය.