
Mobile Number Portability (MNP) පහසුකම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් නිවැරදි කිරීමයි.
ගරු ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා විසින් ඊයේ දින (06) පාර්ලිමේන්තුවේදී දුරකථන අංක පෝටබිලිටි (Number Portability) සේවාව සම්බන්ධයෙන් ලබා දුන් පිළිතුර පදනම් කරගනිමින්, එළඹෙන සැප්තැම්බර් මාසයේදී මෙම සේවාව නිකුත් කරන බවට ඇතැම් මාධ්‍ය සටහන් කර ඇති පුවත් සම්බන්ධයෙන් මෙම පැහැදිලි කිරීම සිදු කරනු ලැබේ. නියෝජ්‍ය අමාත්‍යතුමන් පාර්ලිමේන්තුවේදී පැහැදිලිවම සඳහන් කළේ එළඹෙන සැප්තැම්බර් මාසයේදී MNP සේවාව නිකුත් වන බව නොව, මෙතෙක් පැවති ගැටලු නිරාකරණය කරගනිමින් මෙම පහසුකම ක්‍රියාත්මක කිරීම සඳහා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL), අමාත්‍යාංශය සහ දුරකථන සේවා සපයන සමාගම් (Operators) අතර සාකච්ඡා මේ වන විටත් පවත්වමින් පවතින බවයි. එහිදී නියෝජ්‍ය අමාත්‍යතුමන් ප්‍රකාශ කළ නිවැරදි කරුණ වන්නේ; දුරකථන ක්ෂේත්රයේ පාර්ශවකරුවන් සැප්තැම්බර් මස අග වන විටත් මේ සම්බන්ධයෙන් අවසන් එකඟතාවයකට පැමිණීමට අපොහොසත් වුවහොත්, ශ්‍රී ලංකා විදුලි සංදේශ පනතේ ප්‍රතිපාදන සහ බලපත්‍ර කොන්දේසි ප්‍රකාරව නියාමන නියෝගයක් නිකුත් කිරීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පියවර ගන්නා බවයි. එහිදී සැප්තැම්බර් මස අග යනු අදාළ සමාගම් අතර එකඟතාවයකට පැමිණීම සඳහා ලබා දී ඇති කාලසීමාව මිස, සේවාව නිල වශයෙන් ආරම්භ කරන දිනය නොවන බව කාරුණිකව දැනුම් දෙමු. පාරිභෝගික අයිතිවාසිකම් සුරකිමින් හැකි ඉක්මනින් මෙම පහසුකම ජනතාව වෙත ලබා දීමට රජය කැපවී සිටින අතර, මෙකී සේවාව ආරම්භ කරන නිල දිනය ඉදිරියේදී විධිමත්ව දැනුම් දෙනු ලැබේ

අවසර නොලද නීතිවිරෝධී අන්තර්ජාල සූදු වෙබ් අඩවි 122ක් ශ්‍රී ලංකාව තුළ වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරීමට පියවර.
ශ්‍රී ලංකාව තුළ බලපත්‍ර ලබාගැනීමකින් තොරව නීතිවිරෝධී ලෙස අන්තර්ජාල සූදු සහ ඔට්ටු ඇල්ලීමේ සේවාවන් පවත්වාගෙන යනු ලබන වෙබ් අඩවි 122කට ශ්‍රී ලංකාව තුළ පිවිසීම (Access) වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට (Block) ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය යටතේ පවතින ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) විසින් ඊයේ (06) දින පියවර ගෙන ඇත. ඒ අනුව මේ වන විට තහනම් කර තිබෙන සමස්ත වෙබ් අඩවි ප්‍රමාණය 146 ක් වේ. මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය (Gambling Regulatory Authority) විසින් 2025 අංක 17 දරන සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය පනතේ (Gambling Regulatory Authority Act, No. 17 of 2025) ප්‍රතිපාදන සහ බලතල ප්‍රකාරව කරන ලද දැනුම්දීමකට අනුව මෙම නියාමන පියවර ගෙන තිබේ. සූදු ක්‍රීඩා නියාමන අධිකාරී පනතේ 15, 16 සහ 18 වගන්ති යටතේ නියමිත වලංගු බලපත්‍ර ලබාගැනීමකින් තොරව ශ්‍රී ලංකාව තුළ අන්තර්ජාල සූදු සේවාවන් පවත්වාගෙන යාම සහ ප්‍රවර්ධනය කිරීම පනතේ 44 වගන්තිය ප්‍රකාරව වරදක් මෙන්ම නීතිවිරෝධී ක්‍රියාවකි. ඒ අනුව, අදාළ නීතිවිරෝධී වෙබ් අඩවි වෙත ශ්‍රී ලංකාව තුළ සිට පිවිසීම වැළැක්වීම සඳහා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් සියලුම විදුලි සංදේශ සේවා සපයන්නන් වෙත අවශ්‍ය උපදෙස් ලබා දී ඇත. ශ්‍රී ලංකාවේ නීතිමය රාමුවට පටහැනිව ක්‍රියාත්මක වන මෙවැනි අවසර නොලද අන්තර්ජාල සූදු වේදිකාවන්හි (Online Gambling Platforms) නිරත වීමෙන් සහ මුදල් ආයෝජනය කිරීමෙන් වළකින ලෙස ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

දුම්වැටි ආශ්රිත බදු හේතුවෙන් 2025 වසරේ රුපියල් බිලියන 157.6ක බදු ආදායමක්
දුම්වැටි ආශ්රිත බදු හේතුවෙන් 2025 වසරේ රුපියල් බිලියන 157.6ක බදු ආදායමක් රජයට ලැබුණු බව නියෝජ්‍ය මුදල් අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. දුම්කොළ භාවිතය අවම කිරීම සඳහා බදු ප්‍රතිපත්ති ශක්තිමත් කර ඇති අතර, දුම්වැටි සඳහා VAT, සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (SSCL) සහ දුම්කොළ සමාගම් සඳහා 45%ක ආයතනික ආදායම් බද්දක්ද ක්‍රියාත්මක බව ඔහු සඳහන් කළේය. නීතිවිරෝධී දුම්වැටි ආනයනය වැළැක්වීම සඳහා නාවික හමුදාව, පොලීසිය සහ අනෙකුත් ආරක්ෂක අංශ ඒකාබද්ධව ක්‍රියාකරන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා වන පනත් කෙටුම්පත අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයාගේ නියමය පරිදි රජයේ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කර තිබේ
නව පනත් කෙටුම්පතට අනුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව අවුරුදු 67 දක්වාත්, අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව අවුරුදු 65 දක්වාත් සංශෝධනය කර ඇත. අගවිනිසුරුවරයා විශ්‍රාම ගත යුතු දිනය සම්බන්ධයෙන් විශේෂ කොන්දේසියක් ඇතුළත් කර ඇති අතර, ඒ අනුව ඔහු වයස අවුරුදු 67ට එළැඹෙන දින හෝ අගවිනිසුරු ධුරයට පත්වූ දින සිට වසර 6ක කාල සීමාවක් සම්පූර්ණ වන දින යන දින දෙකෙන් කලින් එළැඹෙන දිනයේදී විශ්‍රාම ගත යුතු වේ

ඉන්දීය සාගරය අවට රටවලට එල් නිනෝ සැර වෙයි
ලෝක කාලගුණ විද්‍යා සංවිධානයේ (WMO) මාසික දේශගුණික වාර්තාවට අනුව, දැනට පවතින එල් නිනෝ තත්ත්වය නිසා ඉන්දියානු සාගර කලාපය අවට රටවල නියඟය, ගංවතුර සහ ළැව්ගිනි ඇතිවීමේ අවදානම ඇතුළු දේශගුණික බලපෑම් බෙහෙවින් වැඩි හැකි බව නිවේදනය කර තිබේ. ඒ අනුව 2026 අගෝස්තු සිට ඔක්තෝබර් දක්වා කාලය තුළ ක්‍රමයෙන් තවදුරටත් ශක්තිමත් වී ප්‍රබල එල් නිනෝ (Strong El Nino) තත්ත්වයක් දක්වා වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ. ලෝකයේ ප්‍රධානතම දේශගුණික මධ්‍යස්ථාන රැසක අනාවැකි මාදිලි (Forecast Models) එකතු කර කරන ලද විශ්ලේෂණයන්ට අනුව, සාගර උෂ්ණත්වය මනින ප්‍රධාන කලාපවල මුහුදු මතුපිට සාමාන්‍ය උෂ්ණත්වය වෙනදාට වඩා සෙල්සියස් අංශක 2.9කට වඩා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

GSP+ යලි සලකා බැලීම අභිමුව ශ්‍රී ලාංකීය ඇඟලුම් කර්මාන්තයේ ඉක්මනින් කළ යුතු ප්‍රතිසංස්කරණ ගැන ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයෙන් නිවේදනයක්
හෙළ ඇපරල් කෙන්යාවටත් ප්‍රශ්නයක් වෙයි.
සේවකයින් 3,000කගේ වැටුප් ප්‍රමාදයි. ඉවත් වූ අයට වන්දි ගෙවලාත් නැහැ. සෙනෙට් සභාවේ දී ප්රශ්නය දිග හැරෙයි
