Share Market News Today Sri Lanka EP09

Share Market News Today Sri Lanka EP09

Table of Contents

⚠️ කාලගුණ පුවත්: ප්‍රදේශ කිහිපයකට අද දිනයේත් වැසි

ඌව, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත්කරමින් පවසනවා.

ඌව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මී 50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවත් එම නිවේදනයේ සඳහන්.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

අමෙරිකාව සහ ඉරානය අතර ප්‍රහාර උග්‍ර අතට: තෙල් නැව් කිහිපයකට හානි

අමෙරිකාව සහ ඉරානය අතර පවතින ගැටුම් නැවතත් උග්‍ර වී ඇති අතර, දෙපාර්ශ්වයම එකිනෙකාගේ තෙල් නැව් සහ යුද නැව් ඉලක්ක කරගනිමින් ප්‍රහාර එල්ල කර තිබේ.

ලෝකයේ තෙල් සහ ගෑස් ප්‍රවාහනයෙන් 20%ක් පමණ සිදුවන හෝමුස් සමුද්‍ර සන්ධිය පවතින යුදමය තත්ත්වය නිසා වසා දමා ඇති අතර, මෙහි ප්‍රතිඵලයක් ලෙස ලෝක වෙළඳපොළේ තෙල් මිලද සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී.

අමෙරිකානු ආරක්ෂක ලේකම්වරයා පවසන්නේ ඉරානය සිය නැව්වලට ප්‍රහාර එල්ල කරන්නේ නම් ඉරානයේ තෙල් නැව් විනාශ කරන බවය.

කෙසේ වෙතත්, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවතින මෙම ගැටුම්කාරී තත්ත්වය “සුළු කරුණක්” ලෙස හඳුන්වා තිබේ.

GOV PAY ක්‍රමවේදයට සමාන ව්‍යාජ වෙබ් අඩවියක් සකස් කර ජනතාවගේ මුදල් සහ සංවේදී දත්ත සොරාගන්නා ජාවාරමක්

ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ GovTech යටතේ ක්‍රියාත්මක වන GOV PAY ක්‍රමවේදයට සමාන ව්‍යාජ වෙබ් අඩවියක් සකස් කර ජනතාවගේ මුදල් සහ සංවේදී දත්ත සොරාගන්නා ජාවාරමක් ක්‍රියාත්මක වන බව පොලිසිය ජනතාවට දැනුම් දෙයි.

රථවාහන වැරදි සඳහා GOV PAY ක්‍රමවේදය මගින් දඩ මුදල් ගෙවීම හඳුන්වා දුන්නේ ජනතාවගේ කටයුතු පහසු කිරීම සහ මුදල් වංචා අවම කිරීමේ අරමුණින් මේ වසර මුලදීය. කෙසේවෙතත්, එම ව්‍යාජ වෙබ් අඩවියේ සබැඳි, කෙටි පණිවුඩ (SMS) සහ WhatsApp පණිවුඩ ලෙස ජංගම දුරකථනවලට එවා ජනතාවගේ මුදල් සහ සංවේදී දත්ත සූක්ෂ්මව සොරාගැනීම මෙම ජාවාරමේදී සිදුවන බව පොලිසිය සඳහන් කරයි.

GOV PAY ඔස්සේ ගෙවීමට වෙනත් කිසිඳු වෙබ් අඩවියක් නොමැති බැවින් එම ව්‍යාජ මූල්‍ය වංචාවලට අසු නොවෙන ලෙස රථවාහන නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී. ජේ. සේනාධීර මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටී. ඒ අනුව, මෙවැනි වංචාවලට හසු නොවී විමසිල්ලෙන් කටයුතු කරන ලෙස ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ පොලිසිය එක්ව සමස්ත මහජනතාව වෙත දැනුම් දෙයි.

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං සැප්තැම්බර් 08 සිට 10 දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං 2026 සැප්තැම්බර් 08 සිට 10 දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීමට නියමිත බව ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරනවා.

මෙම සංචාරයේදී ආරක්ෂක අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ ඉහළ පෙළේ නායකත්වය සමඟ ද්විපාර්ශ්වික කරුණු රැසක් පිළිබඳව සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

හඟරන්ඔය දිය ඇල්ලේ අලුත්ම සංචාරක පාරාදීසය

නාවලපිටිය, හඟරන්ඔය දිය ඇල්ල ආශ්‍රිත ප්‍රදේශය සංචාරක පුරවරයක් ලෙස සංවර්ධනය කිරීමට පස්බාගේ කෝරළේ ප්‍රාදේශීය සංවර්ධන කමිටුව තීරණය කර තිබෙනවා.

මෙම තීරණය ගනු ලැබුවේ කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්තගේ සහ පස්බාගේ කෝරළයේ සංවර්ධන කමිටු සභාපතිනි, පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාරි ජයසිංහගේ ප්‍රධානත්වයෙන් නාවලපිටිය ප්‍රාදේශීය ලේකම් ශ්‍රවණාගාරයේදී පැවැති රැස්වීමේදීයි.

කොළඹ - පේරාදෙණිය දුම්රිය ධාවනය ලබන මාසේ ඇරඹේ

දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත්ව ඇනහිට තිබෙන පේරාදෙණියේ සිට කොළඹ දක්වා දුම්රිය ධාවනය ලබන ඔක්තෝම්බර මාසයේදී ආරම්භ කරන බව ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන පවසනවා.

එමෙන්ම දිට්වා හේතුවෙන් බරපතල ලෙස හානි වූ උඩරට දුම්රිය මාර්ගයේ රඹුක්කන සිට කඩුගන්නාව දක්වා වූ කොටසේ ඉදිකිරීම් ලබන 15 වැනිදා වන විට අවසන් කිරිමටත් සැළසුම කර තිබෙන බවයි ඔහු සඳහන් කළේ.

දිට්වා හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ස්ථාන 97 ක් දැඩි ලෙස නායයෑමට ලක්ව තිබුණා.

රඹුක්කන සිට කඩුගන්නාව දක්වා වූ දුම්රිය මාර්ගයේ බොහෝ ස්ථානවල ඉදිකිරිම් මේ වන විට අවසන් කර ඇති අතර තවත් ස්ථාන දෙකක ඉදිකිරීම් කඩිනමින් අවසන් වෙමින් පවතින බව දක්නට ලැබෙනවා.

මේ අතර එම දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් සිදු කරන ඉදිකිරීම් සමාගමේ වැඩබිම් ඉංජිනේරු තිළිණ ස්වර්ණමාල් සඳහන් කළේ රඹුක්කන කඩුගන්නාව දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් මේ වන විට අවසන් අදියරේ පවතින බවත් මේ මාසයේ 15 වැනිදා සියලු ඉදිකිරීම් අවසන් කරන බවයි.

පේරාදෙණිය කළු පාලම හෙවත් යකා පාලමේ ඉදිකිරිම් කටයුතු සිදු වෙමින් තිබියදී නැවතත් මහවැලි ගඟේ ජලය ඉහළ යාම නිසා යන්ත්‍රසූත්‍ර යට වීමෙන් ගැටළුවක් මතු වුණා.

කෙසේ නමුත් මෙම පාලමේ ඉදිකිරිම්ද කඩිනමින් සිදු කර මහනුවර සිටම කොළඹ දක්වා දුමරිය ධාවනය ඉතා ඉක්මනින් ආරම්භ කරන බවයි නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන කියා සිටියේ.

රුපියලේ අගය ඉහළ යාම සීමා කරන්න මහ බැංකුව අගෝස්තු මාසයේදී ඩොලර් මිලියන 579ක් මිලදී අරන්: Moneta Brief වෙබ් අඩවිය කියයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2026 අගෝස්තු මාසය තුළදී ඇමරිකානු ඩොලර් මිලියන 579ක මුදලක් මිලදී ගෙන ඇති අතර, රුපියලට හිතකර විදේශීය සහ දේශීය සාධක පැවතුණද රුපියලේ අගය ඉහළ යාමට ඉඩ දී ඇත්තේ ඉතා සීමිතව බව Moneta Brief පුවත් වෙබ් අඩවිය වාර්තා කරනවා.

අගෝස්තු මාසයේදී එක් ඇමරිකානු ඩොලරයක අගය රුපියල් 336 සිට 328 දක්වා රුපියල් 8කින් පමණක් ඉහළ යාමට ඉඩ සලසා ඇති අතර, මෙය ආනයනකරුවන් සහ අපනයනකරුවන් අතර යම් විශ්වාසයක් ගොඩනැගීමට හේතු වූ බව ද එම වාර්තාවේ සඳහන්.

ජූලි මාසයේදී ද විදේශීය ආයෝජකයින් ශ්‍රී ලංකා රූපියල් බැඳුම්කර වෙත යොමු වීම හමුවේ ඩොලරයේ අගය රුපියල් 336 මට්ටමේ පවත්වා ගනිමින් ඩොලර් මිලියන 348ක් මිලදී ගෙන ඇති අතර, මෙලෙස රුපියල ශක්තිමත් වීම පාලනය කිරීම මඟින් පද්ධතිය තුළ අතිරික්ත ද්‍රවශීලතාවක් නිර්මාණය වන බව ද විශ්ලේෂකයෝ පෙන්වා දී ඇති බවයි එම වෙබ් අඩවිය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

යුක්‍රේන යුද්ධය නිමවන්න ට්‍රම්ප්ගෙන් සාම යෝජනාවක්: නියෝජිතයින් මොස්කව්හිදී පුටින් හමුවෙයි

යුක්‍රේන යුද්ධය අවසන් කිරීමේ සාම උත්සාහයන් වේගවත් කරමින්, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිතයින් මොස්කව් නුවරදී රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුවී තිබෙනවා.

ක්‍රෙම්ලිනය විසින් නිකුත් කරන ලද වීඩියෝ දර්ශනවල දැක්වෙන්නේ, විශේෂ නියෝජිත ස්ටීව් විට්කොෆ් සහ ජැරඩ් කුෂ්නර්ව ජනාධිපති පුටින් විසින් පිළිගන්නා ආකාරයයි.

එහිදී අදහස් දක්වමින් රුසියානු ජනාධිපතිවරයා පවසා ඇත්තේ පවතින තත්ත්වය “එතරම් පහසු එකක් නොවන” බවයි.

දින තුනක කාලයක් සඳහා එකිනෙකාගේ අගනුවර වෙත ප්‍රහාර එල්ල කිරීම නැවැත්වීමට යුක්‍රේනය සමඟ එකඟ වීම පිළිබඳව ස්ටීව් විට්කොෆ් මෙහිදී පුටින්ට ස්තූතිය පළකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

මොස්කව් සාකච්ඡාවලින් අනතුරුව එම ඇමරිකානු නියෝජිතයින් වැඩිදුර සාකච්ඡා සඳහා අද (06) දිනයේදී කියෙව් නුවර බලා පිටත්ව යාමට නියමිත අතර, මෙය ඔවුන් යුක්‍රේන අගනුවර වෙත යන පළමු නිල සංචාරය ද වනු ඇති.

පසුගිය සිකුරාදා අදහස් දක්වමින් ජනාධිපති ට්‍රම්ප් සඳහන් කළේ විට්කොෆ් සහ කුෂ්නර් “යුද්ධය අවසන් කිරීමේ යෝජනාවක් රැගෙන යන බව”යි.

රුසියානු අගනුවර පිහිටි ජනාධිපති නිල නිවසේ වසා දැමූ දොරටු පිටුපස පැවැති මෙම සාකච්ඡාව පැය තුනක පමණ කාලයක් පැවැති බව රුසියානු රාජ්‍ය මාධ්‍ය වාර්තා කරනවා.

කඩදාසි මත පනවා ඇති බදු අඩු කිරීමට රජය කඩිනම් පියවර ගත යුතු බව මහාචාර්ය ප්‍රණීත් අබේසුන්දර මහතා පවසයි.

සාහිත්‍යය දියුණු කිරීමට සහ ජනතාව අතර පොත් කියවීම ප්‍රවර්ධනය කිරීමට නම් කඩදාසි මත පනවා ඇති බදු අඩු කිරීමට රජය කඩිනම් පියවර ගත යුතු බව මහාචාර්ය ප්‍රණීත් අබේසුන්දර මහතා පවසයි.

රජත පුස්තක සම්මාන උළෙලේදී අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ කඩදාසි සහ පොත් මිල ඉහළ යාම හේතුවෙන් සාමාන්‍ය ජනතාවට පොත් මිලදී ගැනීම දුෂ්කර වී ඇති බවයි.

බදු ප්‍රතිපත්ති සකස් කිරීමේදී බදු ආදායම පමණක් නොව සාහිත්‍යය, අධ්‍යාපනය සහ සමාජයට ඇති දිගුකාලීන බලපෑමද සැලකිල්ලට ගත යුතු බව ඔහු අවධාරණය කළේය.

කොළඹ වරාය නගරය තුළ ව්‍යාපාර 68ක් සඳහා 7.5%ක සහනදායී ආදායම් බදු අනුපාතයක්

කොළඹ වරාය නගරය තුළ ව්‍යාපාර 68ක් “ද්විතීයික උපායමාර්ගික වැදගත්කමක් සහිත ව්‍යාපාර” ලෙස නම් කරමින් විශේෂ බදු හා නියාමන සහන ලබාදීමට රජය පියවර ගෙන තිබේ. මෙම වැඩසටහන යටතේ වසර 4ක් සඳහා 7.5%ක සහනදායී ආයතනික ආදායම් බදු අනුපාතයක් ලබාදීමට නියමිතය.

ඊට අමතරව, ව්‍යාපාර ආරම්භ කිරීමට අවශ්‍ය උපකරණ ආනයනයේදී තීරුබදු සහන ඇතුළු වරප්‍රසාද ලබාදීමට සැලසුම් කර ඇත. රජයේ අරමුණ වන්නේ විදේශ ආයෝජන, ඉහළ කුසලතා සහිත රැකියා සහ විදේශ විනිමය ආදායම් වැඩි කරගැනීමයි.

කෙසේ වෙතත්, ආර්ථික අර්බුදයෙන් පසු රජය බදු ආදායම ඉහළ නැංවීමට කටයුතු කරන අවස්ථාවක මෙවැනි බදු සහන ලබාදීමෙන් ඇතිවන රාජ්‍ය ආදායම් අවස්ථා පිරිවැය පිළිබඳවද අවධානය යොමු වී තිබේ.

ඒ නිසා මෙම සහන සාර්ථකද යන්න තීරණය වන්නේ ව්‍යාපාර 68 ලියාපදිංචි වීමෙන් පමණක් නොව, ඒවා හරහා නව විදේශ ආයෝජන, අපනයන ආදායම්, රැකියා සහ විදේශ විනිමය කොපමණ ප්‍රමාණයක් රටට ලැබෙන්නේද යන්න මතය.

සිංගප්පූරු ආයෝජන සංසදයේ සාර්ථකත්වය සමඟ එරටින් ලැබුණු ආයෝජන 196% කින් ඉහළට

විදේශීය ආයෝජකයින් ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක කරන ලද ප්‍රවර්ධන වැඩසටහන් හේතුවෙන් විදේශිකයින් විසින් කොටස් මිලදී ගැනීම් සැලකිය යුතු මට්ටමකින් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව (SEC) පවසයි. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව පවසන්නේ මෙය ජාත්‍යන්තර වෙළෙඳපොළ සමඟ අඛණ්ඩව පවත්වාගෙන යනු ලබන සම්බන්ධතාවල සාර්ථකත්වය පෙන්නුම් කරන්නක් බවයි.

2025 අගෝස්තු 12 වන දින සිංගප්පූරුවේදී පවත්වන ලද ‘Invest Sri Lanka’ ආයෝජන සංසදයට අදාළ ප්‍රගති වාර්තාවට අනුව, එම සංසදය පැවැත්වීමට පෙර මාස 12 තුළ සිංගප්පූරුවෙන් ලැබුණු විදේශීය කොටස් මිලදී ගැනීම් රුපියල් බිලියන 2.6 ක් විය. කෙසේ වෙතත්, සංසදය පැවැත්වීමෙන් පසු ගත වූ මාස 12 ක කාලය තුළ එම අගය රුපියල් බිලියන 7.7 දක්වා ඉහළ ගොස් ඇත. මෙය 196% ක කැපී පෙනෙන වර්ධනයකි.

මෙම ඉලක්කගත ප්‍රතිඵල මඟින් ජාත්‍යන්තර ප්‍රවර්ධන කටයුතුවල ඇති වැදගත්කම මැනවින් නිරූපණය වන නමුත්, ශ්‍රී ලංකා ප්‍රාග්ධන වෙළෙඳපොළේ සමස්ත විදේශීය සහභාගිත්වය ප්‍රකෘතිමත් වෙමින් පවතින්නේ ක්‍රමානුකූලවය. වර්තමානයේදී කොටස් වෙළෙඳපොළ සමස්ත පිරිවැටුමෙන් විදේශීය ආයෝජකයින් නියෝජනය කරන්නේ 9% ක ප්‍රතිශතයක් පමණි. මෙය 2025 වසරේ වාර්තා වූ 6% ක අගයට වඩා යම් වර්ධනයක් වුවද, ආර්ථික අර්බුදයට පෙර පැවති 40% ක විදේශීය සහභාගිත්වයට වඩා බෙහෙවින් අඩු මට්ටමක් බව සුරැකුම්පත් කොමිසම පෙන්වා දේ.

Rate this Post

CSE Cash Dividend Announcement Today

Company Dividend Per Share XD Date Date of Payment
CTBL.N0000 (CEYLON TEA BROKERS PLC) Rs. 0.5 9-Sep 28-Sep
CSLK.N0000 (CABLE SOLUTIONS PLC) Rs. 0.25 8-Sep 25-Sep
COLO.N0000 (C M HOLDINGS PLC) Rs. 0.4 11-Sep 30-Sep
GEST.N0000 (GESTETNER OF CEYLON PLC) Rs. 3.90 22-Sep 8-Oct