Table of Contents
⚠️ කාලගුණ පුවත්: අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් වෙයි – කාලගුණයෙන් රතු නිවේදනයක්
බටහිර-මධ්‍යම සහ ඊට යාබද නැගෙනහිර-මධ්‍යම බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති අඩු පීඩන කලාපය, ඊයෙ (21) සවස 5:30 වන විට බටහිර-මධ්‍යම සහ ඊට යාබද වයඹ දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව ‘පීඩන අවපාතයක්’ දක්වා වර්ධනය වී ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඉදිරි පැය 24 තුළ එය ‘ගැඹුරු පීඩන අවපාතයක්’ දක්වා තවදුරටත් වර්ධනය වී උතුරු ආන්ද්‍ර ප්‍රදේශ් සහ දකුණු ඔඩිෂා වෙරළ තීරය හරහා ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි අපේක්ෂා කෙරේ.
බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින කාලගුණික තත්ත්වය හේතුවෙන් ඉදිරි පැය 12 සඳහා බලපැවැත්වෙන පරිදි තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මේ බව දැනුම් දී තිබේ.
අගෝස්තුවේ උද්දමනය සියයට 8 පනී
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව අද නිකුත් කළ ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව, ජූලි මාසයේදී 7.2%ක් ලෙස වාර්තා වූ උද්ධමන අනුපාතය අගෝස්තු මාසයේදී මෙලෙස ඉහළ ගොස් ඇත.
ශ්‍රී ලංකාවේ ගෘහස්ථ පරිහරණයට පරිගණක තියෙන්නේ 21.3%කට විතරයි - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව
2025 වසරේදී ශ්‍රී ලංකාවේ පවුල්වලින් 21.3%කට පමණක් අවම වශයෙන් එක් ඩෙස්ක්ටොප් (desktop) හෝ ලැප්ටොප් (laptop) පරිගණකයක් හෝ තිබූ බවත්, මෙය පුද්ගලික පරිගණක පහසුකම් සඳහා ප්‍රවේශ වීමේ සැලකිය යුතු පරතරයක් පෙන්නුම් කරන බවත් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.
මෙම තොරතුරු ඇතුළත් වන්නේ, රට පුරා විසිරී සිටින පවුල් 25,000ක් සහ වයස අවුරුදු 5ත් 69ත් අතර පුද්ගලයින් ආවරණය වන පරිදි ලබාගත් නියැදියක් මත පදනම්ව සකස් කරන ලද ‘2025 පරිගණක සාක්ෂරතා සංඛ්‍යාලේඛන වාර්ෂික ප්‍රකාශනය’ තුළයි.
පදිංචි ප්‍රදේශය අනුව පරිගණක හිමිකාරිත්වයේ විශාල වෙනස්කම් දක්නට ලැබෙන බවයි එම වාර්තාවේ සඳහන් වෙන්නේ.
නාගරික අංශයේ පවුල්වලින් 37.8%ක් සතුව ඩෙස්ක්ටොප් හෝ ලැප්ටොප් පරිගණකයක් තිබූ අතර, ග්‍රාමීය අංශයේ එම අගය 18.6%ක් සහ වතු අංශයේ එය 5.2%ක් ලෙස වාර්තා වී තිබෙනවා.
නෞකාවෙන් නෞකාවට තෙල් හුවමාරුව ඉහළට : ගෝලීය තෙල් ප්‍රවාහන පිරිවැය වාර්තාගත ලෙස ඉහළට
මැදපෙරදිග කලාපයේ පවතින උත්සන්න වූ යුධමය තත්ත්වය සහ හෝමුස් සමුද්‍රසන්ධිය (Strait of Hormuz) ආශ්‍රිතව එල්ල වී ඇති බාධා හමුවේ, තෙල් අපනයනය පවත්වාගෙන යාම සඳහා මැදපෙරදිග නිෂ්පාදකයින් විසින් නෞකාවෙන් නෞකාවට තෙල් හුවමාරු කිරීමේ (Ship-to-Ship – STS) නව ක්‍රමවේදයක් (Shuttle system) ආරම්භ කර තිබෙනවා.
ඉරාන අර්බුදය සහ රතු මුහුද ආශ්‍රිත හූති ප්‍රහාර හමුවේ නෞකා සෘජුවම අවදානම් කලාප හරහා ගමන් කිරීම වැළැක්වීම සඳහා මෙම පියවර ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
කෙසේ වෙතත්, මෙම අලුත් ක්‍රමවේදය හේතුවෙන් ගෝලීය තෙල් ප්‍රවාහන පිරිවැය සහ නෞකා ගාස්තු (Freight rates) වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති අතර, මින් පෙර පැවති තෙල් බැරලයක මිලෙන් 2% – 3%ක් වූ ප්‍රවාහන ගාස්තුව මේ වන විට 25%කට වඩා වැඩි අගයක් ගන්නා අතර, චීනය දක්වා තෙල් ප්‍රවාහනය කිරීමේ ගාස්තුව බැරලයකට ඩොලර් 30 ඉක්මවා තිබෙනවා.
හෝමූස් අර්බුදය හමුවේ ගෝලීය ගල්අඟුරු ඉල්ලුම වාර්තාගත ලෙස ඉහළට
මැදපෙරදිග අර්බුදය සහ හෝමූස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) හරහා සිදුවන නාවික වෙළඳ බාධා හේතුවෙන් 2026 වසරේදී ගෝලීය ගල්අඟුරු ඉල්ලුම සියයට 1.2 කින් ඉහළ ගොස් ටොන් බිලියන 8.94 ක වාර්තාගත මට්ටමකට ළඟා වනු ඇතැයි ජාත්‍යන්තර බලශක්ති නියෝජිතායතනය (IEA) පුරෝකථනය කරයි.
හෝමූස් සමුද්‍ර සන්ධිය ඔස්සේ සිදුවන ද්‍රවීකෘත ස්වාභාවික වායු (LNG) ප්‍රවාහනය අඩාල වීම නිසා ස්වාභාවික වායු මිල ගණන් ඉහළ ගොස් ඇති අතර, ඒ හේතුවෙන් බොහෝ රටවල් විදුලිබල උත්පාදනය සඳහා වායු වෙනුවට නැවතත් ගල්අඟුරු භාවිතයට යොමු වී ඇත. මීට අමතරව, බලපෑම් එල්ල කරන එල් නිනෝ (El Niño) කාලගුණික තත්ත්වය හේතුවෙන් උෂ්ණත්වය ඉහළ යාම සහ ජල විදුලි උත්පාදනය පහත වැටීම නිසා ආසියානු කලාපයේ විදුලි ඉල්ලුම තවත් වැඩි වී තිබේ.
2026 මුල් මාස 08 සංචාරක පැමිණීම් 2%කින් පහළ යද්දී සංචාරක ඉපැයීම් 10%කින් අඩුවෙලා
2026 අගෝස්තු මාසයේ දී වාර්තා වුුුණු ඩොලර් මිලියන 264.4ක සංචාරක ඉපැයීම් ප්‍රමාණය සමඟින් වසරේ මුල් මාස 08 තුළ සංචාරක ඉපැයීම් ඩොලර් බිලියන 2 සීමාව ඉක්මවා යාමට සමත්ව තිබුණ ද එය 2025 වසරේ මුල් මාස 08 තුළ වාර්තා වූ ඩොලර් මිලියන 2,290 හා සැසඳීමේ දී 10%ක පහළ යාමක් වේ.
කෙසේවෙතත් 2025 මුල් මාස 08 තුළ මෙරටට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව වූ 1,566,523 හා සැසඳීමේ දී 2026 වසරේ ජනවාරි සිට අගෝස්තු දක්වා පැමිණි සංචාරකයින් ප්‍රමාණය පහළගොස් ඇත්තේ 2%ක ප්‍රමාණයකිනි. එම සංඛ්‍යාව සංචාරකයින් 1,535,122ක් ලෙසින් වාර්තා වී ඇත.
CSE Cash Dividend Announcement Today
| Company | Dividend Per Share | XD Date | Date of Payment |
|---|---|---|---|
| GEST.N0000 (GESTETNER OF CEYLON PLC) | Rs. 3.90 | 22-Sep | 8-Oct |
| LALU.N0000 (LANKA ALUMINIUM INDUSTRIES PLC) | Rs. 1.25 | 22-Sep | 9-Oct |
| SHAW.N0000 (LEE HEDGES PLC) | Rs. 2.00 | 22-Sep | 9-Oct |
| RCH.N0000 (RENUKA HOTELS PLC) | Rs. 1.50 | 23-Sep | 12-Oct |
