Table of Contents
⚠️ කාලගුණ පුවත්: ප්‍රදේශ කිහිපයකට මි. මී 75ක පමණ තරමක තද වැසි
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පලාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථාන වලට මි. මී 75 ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
ඌව, නැගෙනහිර සහ උතුරු මැද පලාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කයෙත් පස්වරු 1.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් එම නිවේදනයේ සඳහන්.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
ඉරාන යුද්ධයෙන් අමෙරිකාවට ඩොලර් බිලියන 38ක බරක්!
ඉරානය සමඟ පවතින යුද්ධය හේතුවෙන් 2026 අගෝස්තු 1 වැනිදා වන විට අමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුවට අමෙරිකානු ඩොලර් බිලියන 38ක පමණ වියදමක් දැරීමට සිදුව ඇති බව, කොංග්රස් අයවැය කාර්යාලය Congressional Budget Office (CBO) පවසයි.
එම කාර්යාලය මඟින් ඊයේ (15) නිකුත් කළ වාර්තාවකට අනුව, ගැටුම තවදුරටත් පැවතියහොත් යුද්ධයේ තීව්‍රතාව අනුව අමෙරිකානු හමුදාවට සෑම මසකටම ඩොලර් බිලියන 2–3ක් හෝ ඊට වැඩි මුදලක් වැය විය හැකි බවද පෙන්වා දී ඇත.
ආර්ථිකයටත් බලපෑමක්
කොංග්රස් අයවැය කාර්යාලය පවසන්නේ, යුද්ධයේ ප්‍රධාන ආර්ථික බලපෑමක් ලෙස තෙල් සහ ස්වභාවික ගෑස් සැපයුම්වලට ඇති වූ බාධා හේතුවෙන් උද්ධමන පීඩනය ඉහළ යාම හඳුනාගෙන ඇති බවයි.
ඉරානය විසින් හෝර්මුස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීමත් සමඟ තෙල් ප්‍රවාහනයට බාධා ඇති වී තෙල් මිල ඉහළ ගොස් තිබේ.
ඒ අනුව, ලබන වසරේ පළමු කාර්තුවේදී අමෙරිකාවේ උද්ධමනය පෙබරවාරි මාසයේ කළ පුරෝකථනයට වඩා ප්‍රතිශත ඒකක 0.5කින් ඉහළ විය හැකි බව කොංග්රස් අයවැය කාර්යාලය නව ඇස්තමේන්තුවෙන් පෙන්වා දෙයි.
ආහාර සහ බලශක්ති මිල ගණන් ඉවත් කර ගණනය කරන මූලික උද්ධමනයද පෙර පුරෝකථනයට වඩා ප්‍රතිශත ඒකක 0.3කින් ඉහළ යා හැකි බව එහි සඳහන් වේ.
උද්ධමනය ඉහළ යාම හේතුවෙන් අමෙරිකානු රජයේ Treasury securities සඳහා ගෙවිය යුතු පොලී අනුපාතද ඉහළ යා හැකි බව ඔවුන් පවසයි.
වසරේ මේ දක්වා සංචාරක පැමිණීම ලක්ෂ 16 ඉක්මවයි
සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කර ඇති වාර්තාවකට අනුව ජනවාරි පළමුවැනිදා සිට සැප්තැම්බර් 14 වැනි දින දක්වා මෙරටට පැමිණි සංචාරකයින් ගණන 1,609,759කි.
මේ අතර සැප්තැම්බර් මස 01 වැනි දින සිට 14 වැනි දින දක්වා කාලය තුළ සංචාරකයින් 74,637ක් බවද සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේය.
දෙවන කාර්තුවේදී ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 4.2ක වර්ධනයක්
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම ජාතික ගිණුම් ඇස්තමේන්තුවලට අනුව, අප්‍රේල් 1 සිට ජූනි 30 දක්වා කාලය තුළ මෙම ආර්ථික වර්ධනය වාර්තා වී ඇත.
2026 වසරේ පළමු කාර්තුවේදී සියයට 5.1ක ආර්ථික වර්ධනයක් වාර්තා වී තිබූ අතර, ඒ අනුව දෙවන කාර්තුවේදී ආර්ථික වර්ධන වේගය සියයට 4.2ක් දක්වා පහළ ගොස් තිබේ.
දෙවන කාර්තුවේදී කර්මාන්ත අංශය සියයට 7.3ක කැපී පෙනෙන වර්ධනයක් වාර්තා කර ඇති අතර, සේවා අංශය සියයට 2.7කින් වර්ධනය වී තිබේ.
කෙසේ වෙතත්, කෘෂිකාර්මික අංශයේ සියයට 2.3ක පසුබෑමක් වාර්තා වී ඇත.
වරාය නගරයේ ඩොලර් මිලියන 112ක ව්‍යාපෘතියක්
කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ ව්‍යාපාරයක් ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ප්‍රාථමික ව්‍යාපාරයක් ලෙස නම් කිරීම සඳහා කැබිනට අනුමැතිය හිමිව තිබෙනවා.
ප්‍රයිම් මෙල්වා (ප්‍රයිවට්) ලිමිටඩ් වෙත කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනතේ විධි විධාන අනුගමනය කරමින් යෝජිත නිදහස් කිරීම් හෝ දිරිගැන්වීම් ප්රදානය කිරීමටත්, එම ව්‍යාපාරය ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ප්‍රාථමික ව්‍යාපාරයක් ලෙස නම් කිරීමටත් මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවටයි මෙසේ අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත්තේ.
2021 අංක 11 දරන කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනතේ 53 වන වගන්තියට අනුව, ව්‍යාපාරයක් ක්‍රමෝපාය වැදගත්කමක් සහිත ව්‍යාපාරයක් ලෙස නම් කිරීම සඳහා සහ එවැනි ව්‍යාපාර සඳහා නිදහස් කිරීම් හෝ දිරිගැන්වීම් ප්රදානය කිරීම පිණිස විධිවිධාන සලසනු ලැබ තිබෙන අතර, ඒ සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය අවශ්‍ය වනවා.
ක්‍රමෝපාය වැදගත්කමක් සහිත ප්‍රාථමික ව්‍යාපාරයක් ලෙස නම් කිරීමට යෝජිත ප්‍රයිම් මෙල්වා (ප්‍රයිවට්) ලිමිටඩ් විසින් ඉදිරි වසර කිහිපයේදී අමෙරිකානු ඩොලර් මිලියන 112.2 ක සහ ශ්‍රී ලංකා රුපියල් බිලියන 15.9 ක ආයෝජනයක් සිදු කිරීමටත්, කොළඹ වරාය නගරය තුළ සංධිස්ථානීය මිශ්‍ර භාවිත දිය අද්දර සංවර්ධන ව්‍යාපෘතියක් (Landmark mixed-use waterfront project) ක්‍රියාත්මක කිරීමටත්, ඒ හරහා පුද්ගලයින් 800 කට පමණ රැකියා අවස්ථා උත්පාදනය කිරීමටත් මෙහි සැලසුමයි.
අනිලානා නිලාවේලි සහ පාසිකුඩා හෝටල් දේපළ සම්පත් බැංකුව විසින් පවරා ගනී
අනිලානා හොටෙල්ස් ඇන්ඩ් ප්‍රොපටීස් පීඑල්සී (Anilana Hotels and Properties PLC) සමාගමට අයත් ත්‍රිකුණාමලයේ නිලාවේලි සහ පාසිකුඩා යන ප්‍රදේශවල පිහිටි හෝටල් දේපළ, 1990 අංක 04 දරන බැංකු මගින් ණය අයකර ගැනීමේ (විශේෂ විධිවිධාන) පනතේ විධිවිධාන යටතේ සම්පත් බැංකුව විසින් පවරාගෙන ඇති බව කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත නිල වශයෙන් දැනුම් දී තිබේ.
කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත ලිපියක් යොමු කරමින් අනිලානා හොටෙල්ස් සමාගම සඳහන් කර ඇත්තේ, මෙම දේපළ පවරා ගැනීම තහවුරු කරමින් සම්පත් බැංකුව විසින් 2026 අගෝස්තු 31 වන දින නිකුත් කරන ලද ලිපිය 2026 සැප්තැම්බර් 01 වන දින තමන් වෙත ලැබුණු බවයි.
CSE Cash Dividend Announcement Today
| Company | Dividend Per Share | XD Date | Date of Payment |
|---|---|---|---|
| RFL.N0000 (RAMBODA FALLS PLC) | Rs. 0.50 | 21-Sep | 8-Oct |
| GEST.N0000 (GESTETNER OF CEYLON PLC) | Rs. 3.90 | 22-Sep | 8-Oct |
| LALU.N0000 (LANKA ALUMINIUM INDUSTRIES PLC) | Rs. 1.25 | 22-Sep | 9-Oct |
| SHAW.N0000 (LEE HEDGES PLC) | Rs. 2.00 | 22-Sep | 9-Oct |
| RCH.N0000 (RENUKA HOTELS PLC) | Rs. 1.50 | 23-Sep | 12-Oct |
